අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කරන්නන් නීතියේ ඉදිරියට!

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අද (14) හරිත පුණ්‍ය භූමි වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණියේය.
එහිදී අදහස් පල කරමින් එතුමා පවසා සිටියේ මහා මාර්ග සහ ඒ අවට ප්‍රදේශවලට අවිධිමත් ලෙස කැළි කසළ බැහැර කරන්නන් වැටලීම සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කොට ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට බලපාන හේතු අතරින් එක් සාධකයක් ලෙස අවිධිමත් කසළ බැහැර කිරීම හැදින්විය හැකි බව පැවසූ අතර, කසළ කළමනාකරණය කිරීම සඳහා ගෙන යන ජාතික වැඩසටහන යටතේ ලංකාවේ පළාත් නවය ආවරණය වන පරිදි කොම්පෝස්ට් ව්‍යාපෘති නවයක් ආරම්භ කිරීමට කටයුතු යොදන බවද පැවසීය.

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම සඳහා ජනතාවගේ නොසැලකිල්ලද බලපාන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන පරිසරයක් පවත්වාගෙන යන රජයේ ආයතනවල ප්‍රධානීන්නට නඩු දැමීමට අවශ්‍ය නීති සකස් කරන බවද පැවසීය.

මේ පිළිබඳ තමන් විසින් කැබිනට් මණ්ඩලය ද දැනුවත් කළ බව පැවසූ අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අනුමැතිය ද ඒ සඳහා හිමි වූ බව පැවසීය. මේ සඳහා අවශ්‍ය බලතල සෞඛ්‍ය පරික්ෂකවරුන්ට ලබා දෙන බවද අමාත්‍යවරයා වැඩිඳුරටත් පැවසීය

(Visited 21 times, 1 visits today)

කාටූන්

ජයාරූප