යුද්ධයේ අවසාන අදියරේදී ත‍්‍රිවිධ හමුදාව විසින් සිවිල් වැසියන් සමූහ ලෙස ඝාතනය කළ බව අතුරුදන් කළ බව, ස්ත‍්‍රී දුෂණ කළ බව සනාථ කෙරෙන සාධාරණ හේතු ඇතැයි මේ වාර්තාවේ සඳහන්ය. උතුරේ ජනතාව සාගින්නෙන් මැරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් තිබූ බවද මෙමගින් කියා පාන්නකි. මේ සියල්ලක්ම ජාත්‍යන්තර නීතිය යටතේ යුද අපරාධයකි. විමර්ශන පැවැත්විය යුතු බවත් එයට ශ්‍රී ලංකා රජයේ පූර්ණ සහයෝගය ඇති බවත් මේ යෝජනාවෙන් කියා තිබේ. එයට අවශ්‍ය විශේෂ යාන්ත‍්‍රණ නිර්මාණය කිරීමට ලංකා රජයේ සූදානම මෙහි පෙන්නුම් කරන තවත් ලක්ෂණයකි. මේ සියල්ල පිළිගන්නා අතර ලංකා රජයේ ඉල්ලීම වී ඇත්තේ තව වසර දෙක තුනක කාලය ලබාදෙන ලෙසය.

වරද පිළිගන්නවා පමණක් නොව එම වරද යළි සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවටද සහතික දී තිබේ. මේ සියල්ල ක්‍ෂණිකව කළ නොහැකි නිසා අවශ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය කාලය ඉල්ලා සිටින ආයාචනය පමණක් වත්මන් පාලනය ඉදිරිපත් කර තිබේ.

මහින්ද රාජපක්ෂ රජයේ විදේශ ප‍්‍රතිපත්තිය හා වත්මන් විදේශ ප‍්‍රතිපත්තිය අතර ඇත්තේ අහසත් පොළවත් තරම් වූ පරතරයකි. ත‍්‍රිවිධ හමුදාවලින් කිසිදු අපරාධයක් නොවූ බව එදා අපේ පැහැදිලි ස්ථාවරය වුණි. යුද්ධය අවසන් අදියරේදී සිවිල් වැසියන් තුන් ලක්‍ෂ පනස් දහසක් පමණ පටු භූමියක කොටුවී සිටියේ ප‍්‍රාණ ඇපකරුවන් වශයෙනි. එවන් තත්ත්වයකදී මේ අයගේ ජීවිත ආරක්‍ෂා කිරීමට අවශ්‍ය සියලූ පියවර ගැනීමේ යුතුකමක් හා වගකීමක් ත‍්‍රිවිධ හමුදාවට තිබුණි. ත‍්‍රිවිධ හමුදා අතින් කිසිදු වරදක් නොවූ බව හේතු සහිතව පෙන්වා දිය හැකි බව අපගේ පැහැදිලි ස්ථාවරය වුණි. මේ කාරණය තහවුරු කිරීමට මේ විෂය පිළිබඳ ලෝකය පිළිගත් කීර්තිමත් නීති විශේෂඥයන් සමඟ අපි එදා කටයුතු කළෙමු. සර් ඩෙස්මන් ද සිල්වා, සර් ජෙෆ්රි නයිට් එයට උදාහරණය.

ජාත්‍යන්තර නීතියේ මූලධර්ම කිසිවක් උල්ලංඝනය වූයේ නැත.

අපේ ස්ථාවරයට එදා ජාත්‍යන්තරයෙන් විශාල සහයෝගයක් ලැබුණි. මානව හිමිකම් කවුන්සිලයේ සිටි ආසියානු රටවල් අප‍්‍රිකානු රටවල්වල අති බහුතරය අරාබි ලෝකය රුසියාව, චීනය ආදී සියලූ රටවල් එදා අප සමඟ එකතු වුණි. එමෙන්ම ඉන්දියාව පවා විදේශ විනිශ්චයකාරවරුන් හා ජාත්‍යන්තර විමර්ශනවලට විරුද්ධ වුණි. ජපානය මේ කාරණයට කැමැති වුණේ නැත. එහෙත් දැන් තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්ය. අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට බලපාන කරුණු රාශියක් කරන බවට ලංකා රජය ජාත්‍යන්තරයට ප‍්‍රතිඥා දී තිබේ. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්, උතුරේ හමුදා කඳවුරු පිහිටි ඉඩම් නැවත ජනතාවට ලබාදීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, මහජන ආරක්‍ෂක පනත සම්බන්ධයෙන් වැදගත් සංශෝධන කිරීම යනාදිය එම ප‍්‍රතිඥාවේ ඇතුළත්ය. රාජපක්‍ෂ ආණ්ඩුව හැටියට අප එදා මෙවන් කිසිදු පොරොන්දුවක් දුන්නේ නැත. ඇමෙරිකාවේ යෝජනාව තමන්ගේ එකක් ලෙස ලක් රජය පිළිගැනීම නිසා විශාල අවුලක් ඇති වී තිබේ. මේ අර්බුදයෙන් ගොඩ ඒමට වත්මන් සිරිසේන x වික‍්‍රමසිංහ රජයට හැකියාවක් නැත.

විදේශීය විනිශ්චයකාරවරුන් පිළිබඳ ප‍්‍රශ්නයේදී එය පැහැදිලිවම පෙනෙන්නකි. මේ රටේ මොනතරම් කෑ ගැසුවත් ඇමෙරිකාව ඉදිරිපත් කළ ලංකාව ඉල්ලා සිටි යෝජනා මේ හයවැනි ජේදයේ පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළු විදේශ විනිශ්චයකාරවරුන් ගැන සඳහන්ය. තව බොහෝ කරුණු මෙම ජේදයේ පැහැදිලිව දක්වා තිබේ. විදේශීය විනිසුරුවන්ට තමන් විරුද්ධ බව ජනපතිත් අගමැතිත් පැහැදිලිව පසුගියදා ප‍්‍රකාශ කර තිබුණි. ඒ අනුව මතුවන ප‍්‍රශ්නය බරපතළය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහත කී ප‍්‍රතිඥාව දුන්නේ කවුදැයි එම ප‍්‍රශ්නයයි. මේ ප‍්‍රතිඥා ලිඛිතව තිබේ. ඒ ලක් රජයේ ප‍්‍රතිඥා වශයෙනි. එක පුද්ගලයකුගේ ප‍්‍රතිඥා නොවේ.

ලංකා රජය ඉල්ලා සිටි කාලය ලබාදීම සම්බන්ධයෙන්ද විශාල විරෝධයක් තිබේ. මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කියා ඇත්තේද ලංකාවේ ප‍්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවය. ඉතාම මන්දගාමීව කටයුතු කෙරෙන බව ඔහු කියා තිබේ. එංගලන්තයේ ඡායා විදේශ ඇමැතිනී තෝන්බරී එරට විදේශ ඇමැතිට සංදේශයක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ කුමක්ද? ශ්‍රී ලංකා රජයට තවත් කාලය දීමට තමන් තරයේ විරුද්ධ යැයි එම සංදේශයෙන් කියා තිබේ. ශ්‍රී ලංකා රජය දී ඇති ප‍්‍රතිඥා ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවද එමගින් කියා තිබේ. කල් මැරීමට අවසර දීමට හේතුවක් නැතැයි ද ඔවුහු පෙන්නා දෙති.

තවත් අවාසනාවන්ත කාරණයක් සිදුව තිබේ. මානව හිමිකම් පිළිබඳව ඇමෙරිකාවේ විශාල වෙනසක් සිදුව තිබේ. ඇමෙරිකාවේ විදේශ ප‍්‍රතිපත්තියද වෙනස් වී ඇත. ට‍්‍රම්ප් ජනපතිවරයා මේ කරුණු දෙස බලා ඇත්තේ ප‍්‍රතිපත්ති පදනමකිනි. විදේශ රටවල අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමේ වුවමනාවක් ඇමෙරිකාවට නැති බව ඔහුගේ ස්ථාවරය වී ඇත. ඇමෙරිකාවේ විශාල ප‍්‍රශ්න ඇති බව ඔහුගේ ස්ථාවරයයි. දිගින් දිගටම ලංකාව ලූහුබැඳ ගිය ඇමෙරිකා නිලධාරීන් අදාළ ධුරවලින් ඉවත් කිරීමටද ට‍්‍රම්ප් ජනපතිවරයා කටයුතු කර ඇත. නියෝජ්‍ය විදේශ ලේකම් නීෂා බිස්වාල් එයට එක් උදාහරණයකි. සමන්තා පවර්, සුසන් රයිට් යන අයද අදාළ තනතුරුවලින් ඉවත් කර තිබේ.

ඒ වගේම තවත් වැදගත් දෙයක් පසුගියදා වොෂින්ටනයේදී සිදුවුණි. ලෝකයේ සියලූ රටවල මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තාවක් වාර්ෂිකව එළිදැක්වෙනු ඇත. වසර දහයකට පසුව ඇමෙරිකාවේ විදේශ ඇමැති රෙක්ස් එලසන් එම උත්සවයට සහභාගි වූයේ නැත. මාධ්‍ය සාකච්ඡාවද අහෝසි කළේය. ගෝලීය මානව හිමිකම් පිළිබඳ ඇමෙරිකන් ස්ථාවරයේ වැදගත් වෙනසක් සිදුව ඇති බව මේ සියල්ලෙන්ම හෙළිවන්නකි. එහෙත් අවාසනාවකට මෙන් ඒ වෙනසෙන් ප‍්‍රයෝජන ගැනීමට ලංකාවට හැකියාවක් නැත. ඒ ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව අපේම යෝජනාවක් ලෙස පිළිගැනීම නිසාය. කෙතරම් අවුල් ජාලාවක් ඇතිකරගෙන තිබේදැයි මෙයින් පැහැදිලිය. ඒ වගේම වසරකදී දෙකකදී ත‍්‍රිවිධ හමුදාවට මුහුණදීමට සිදුවන ප‍්‍රශ්නද දැක ගන්නට ලැබෙනු ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනෙක් කරුණය. එය බොරුවක් බව පැහැදිලිව පෙනෙන්නකි. ව්‍යවස්ථා සංශෝධනයට අවංක චේතනාවක් නැති බවද පැහැදිලිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයද ජාත්‍යන්තර ප‍්‍රජාවට දුන් ප‍්‍රතිඥාවකි. ජිනීවා යෝජනා මේ මේ කාරණය දක්වා තිබේ. මේ රජය බලයට පත්කිරීමට වෙහෙසුණු දෙස් විදෙස් බලවේගවලට දේශපාලන වශයෙන් ණය ගෙවීමක් කරගෙන යන අයුරු දැකගන්නට පුළුවන. ව්‍යවස්ථා සංශෝධනයට අදාළ මූලික කරුණු පිළිබඳව රජයට පැහැදිලි ප‍්‍රතිපත්තියක් නැති බව තහවුරු වී අවසන්ය.

පාර්ලිමේන්තුව තුළ කරගෙන යන ක‍්‍රියාදාමය හා ජනමත විචාරණයක් පැවැත්වීමට රජය බැඳී සිටින බව විදේශ ඇමැතිවරයා ජිනීවාහිදී ප‍්‍රකාශ කළේ ලක් රජය වෙනුවෙනි. එදිනම චන්දිම වීරක්කොඩි ඇමැතිවරයා කියා සිටියේ එවැනි කිසිවක් සිදුනොවන බවය. සන්ධානයේ මහ ලේකම්වරයාද එවැනිම ප‍්‍රකාශයක් කළේය. නව ව්‍යවස්ථාවක් නොව යම් යම් සංශෝධන පමණක් කෙරෙන බව ඔවුහු පෙන්වා දුන්හ. ජනමත විචාරණයකින් තොරව කළහැකි සංශෝධනවලට පමණක් ජනපතිවරයා එකඟ වී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ. යම් සංශෝධනයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ප‍්‍රමාණවත් නොවනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යය. එවන් සංශෝධන නොකරන බව මෛත‍්‍රී පාර්ශවයේ ස්ථාවරය වී තිබේ.

මේ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කළ නොහැක. එහෙත් විදේශ ඇමැතිවරයා ජිනීවාවල කළේ රජය වෙනුවෙන් වූ ප‍්‍රකාශයකි. මේවා එකිනෙකාට පරස්පරය. අවුල් ජාලාවක් වී තිබේ.

මේවා සම්බන්ධව ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක්ද?

එය ඉතා අපැහැදිලිය. ඔහු පොදු අපේක්ෂකයා වශයෙන් රටට ප‍්‍රධාන ප‍්‍රතිඥා තුනක් දුන්නේය. විධායක ජනපති ධුරය අහෝසි කිරීම ඉන් පළමුවැන්නය. අයවැය විවාදයේදී ද ඒ බව ප‍්‍රකාශ කළේය. මාදුළුවාවේ සෝභිත හිමිගේ අවමංගල උත්සවයේදී ද ජනාධිපතිවරයා පැහැදිලි ප‍්‍රකාශයක් කළේය. විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ සෝභිත හිමිගේ අභිප‍්‍රාය උපරිමයෙන් ඉටු කිරීමට ඇපකැප වෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය. නව ව්‍යවස්ථාවක් ගේනවාද? ජනමත විචාරණයකට යනවාද? පවතින ව්‍යවස්ථාව සංශෝධනය කරනවාද? විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවාද? මේ සියල්ලක්ම ගැන අබමල් රේණුවක ප‍්‍රත්‍යක්ෂභාවයක් පැහැදිලිභාවයක් නැත. එනිසා මෙය අවංක ක‍්‍රියාදාමයක් හැටියට කාටවත් පෙනෙන්නේ නැත. මෙය හුදෙක් දේශපාලන වැඩපිළිවෙළක් පමණි. මෙය එක්තරා ආකාරයකට ණය ගෙවීමක් වශයෙන් කරන්නකි.

මේ සියල්ලේ භයානක ප‍්‍රතිඵලය වී ඇත්තේ රටේ ආරක්ෂාවට ඇති වී තිබෙන ආදීනව හා දුර්විපාකයි. රාජපක්ෂ රජය පැහැදිලිව වටහාගත් කරුණක් තිබුණි. ත‍්‍රස්තවාදය පරාජය කිරීම යුද පිටියේ ජයකින් පමණක් කළ නොහැකි බව එම කරුණය. ත‍්‍රස්තවාදය යළි හිස එසවීමට උත්සාහ දැරීම ලෝකය පුරා දක්නට ඇති තත්ත්වයකි. ඒ කාලයෙන් කාලයටය. මේ කාරණය එදා හොඳින් වටහාගෙන එවන් උත්සාහයක් දුටු ගමන්ම එය මුලිනුපුටා දැමීමට අපි කටයුතු කළෙමු. එල්.ටී.ටී.ඊයට සම්බන්ධ යැයි කියන පදනම මත සංවිධාන 18ක් පමණ තහනම් කිරීමට ද පියවර ගැනිණ. මේ ආයතනවලින් සියයට පනහක පමණ තහනම ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ. අප තහනම් කළ පුද්ගලයන්ගෙන් තුනෙන් දෙකක පමණ පුද්ගලයන්ගේ තහනම ඉවත් කිරීමට ද කටයුතු කර තිබේ. මේ අනුව ත‍්‍රස්තවාදයට යළි හිස එසවීමට අවශ්‍ය පරිසරය රට තුළ නිර්මාණය කර තිබේ. යුද හමුදා කඳවුරු ආසන්නයේ සිට මහාවීර දින සැමරීම කියා පාන්නේද බරපතළ කරුණකි. ත‍්‍රස්තවාදය යළි ප‍්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් සූක්ෂමව උතුරේ දියත් කෙරෙනවාද යන සැකය මතු වී තිබේ.

දෙමළ ජාතික සන්ධානය පිළිබඳව උතුරේ ජනයා අතර ඇත්තේ පැහැදීමක් නොවේ. දෙමළ සන්ධානය මේ ජනයාට නොයෙක් පොරොන්දු දුනි. ඒවා ඉටු කිරීමට නොහැකි බව ජනතාව වටහා ගෙන තිබේ. දෙමළ සන්ධානයට වඩා ඔබ්බට ගොස් කටයුතු කරන සංවිධානවල ජනප‍්‍රියභාවය වර්ධනය වෙමින් පවතින ආකාරයක් දැක ගත හැකිය. දෙමළ සන්ධාන මන්ත‍්‍රීවරයකු ඝාතන තැතක් ගැනද වාර්තා වී තිබුණි. රටවල් හතරක ඩයස් පෝරාව එක් වී මේ වැඩ කරගෙන යන බව ආරක්ෂක අංශවලට වාර්තා වී ඇති බව ආරංචි මාර්ගවල සඳහන්ය. මේ පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් කිලිනොච්චි අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නොවේ. සාමාන්‍ය නීතිය යටතේය. මෙය අදහා ගත නොහැකි තත්ත්වයකි. බුද්ධි නිලධාරීන්ට, හමුදා නිලධාරීන්ට විරුද්ධව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක‍්‍රියත්මක කර තිබේ. එහෙත් මන්ත‍්‍රීවරයකු ඝාතනයට තැත් කිරීම පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගත් අය ගැන කටයුතු කර ඇත්තේ සාමාන්‍ය නීතිය යටතේ. මෙසේ කටයුතු සිදුවන්නේ ඇයි දැයි ප‍්‍රශ්නයකි.

එහෙත් එදා අප කටයුතු කළේ ඒ ආකාරයෙන් නොවේ. ත‍්‍රස්තවාදය හිස ඔසවන බවට තොරතුරු ලද විට රජය වහා ක‍්‍රියාත්මක අවශ්‍ය පියවර ගත්තේය. අදාළ සැකකරුවන් තමිල්නාඩුවේ සිටි බව දැන ගත් විට තමිල්නාඩුවේ ”කිව්” අංශයට දැනුම් දී ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කළේය. එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. එම පරිසරය රටට අහිතකරය.

රජය සම්බන්ධයෙන් රට තුළ නිර්මාණය වී ඇත්තේ ද අප‍්‍රසාදයකි. ආර්ථික සාධක එයට විශේෂයෙන් බලපා තිබේ. ජීවන වියදම, වැට් බද්ද, රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විකිණීම, මහා පරිමාණ දුෂණ ආදිය හමුවේ ජනතාව රජයට දක්වන්නේ දැඩි අප‍්‍රසාදයකි.

මැතිවරණ නොපවත්වා රට පාලනය කිරීම මේ සියල්ලටම රජයේ පිළිතුර වී තිබේ. පළාත් පාලන මැතිවරණය වසර දෙකක් තිස්සේ කල් දමා තිබේ. මේ මැතිවරණය පවත්වන්නේ කවදාද කියා ඉඟියක්වත් දීමට රටේ නායකයන්ට හෝ අදාළ ආයතනවලට හැකියාවක් නැත. එහෙත් ආදර්ශමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රටේ ඇති බව රජයේ අර්ථ දැක්වීමය. නිසි කලට මැතිවරණ නොපවත්වන රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවම මට්ටමකින්වත් තිබෙන බව පිළිගත නොහැක. පළාත් සභා මැතිවරණයත් කල් දැමීමට රජය සැරසෙන බවට ආරංචි තිබේ. පළාත් සභාවක පළමු රැස්වීමෙන් වසර පහක් ගත වූ පසු නීතියේ ක‍්‍රියාකාරීත්වයෙන් එම පළාත් සභා විසුරුවා හැරෙනු ඇත. ඉන් පසු මැතිවරණයට නාම යෝජනා කැඳවිය යුතුය. සියලූ පළාත් සභාවල මැතිවරණ එක දිනක පැවැත්වීම හොඳ බව රජයේ ස්ථාවරය වී තිබේ. එසේ නම් අනෙක් පළාත්වල මැතිවරණ ඉදිරියට ගෙන ඒමට පුළුවන. ළඟදී කාලය අවසන් වන පළාත් සභාවල මැතිවරණ කල් දැමිය නොහැක. රජය මේ උප්පර වැට්ටි යොදන්නේ මැතිවරණ පැවැත්වුවහොත් පරාජය වන බව හොඳාකාරවම දන්නා නිසාය. පළාත් සභා මැතිවරණය කල් දැමීමට අප කිසිසේත් ඉඩ තබන්නේ නැත.

බටහිර රටවල් පවා වෙනස් කර ගෙන ඇති ආර්ථික දර්ශනයක් මේ රටේ ක‍්‍රියාත්මක කිරීමට යාමෙන් ලැබෙන ප‍්‍රතිඵලය කුමක් දැයි පැහැදිලි නැත. ඇමෙරිකාව පවා විවිධ ගිවිසුම්වලින් ඉවත් වෙමින් සිටී. දේශසීමා බදු විශාල වශයෙන් ඉහළ නැංවීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ. දේශීය කර්මාන්ත රැකගැනීමට යොමු වී තිබේ. විදේශවලට යන අයෝජකයන්ට දැඩි බදු පනවා තිබේ. එහෙත් මෙරට ඇත්තේ ඒවාට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවකි.

ලෝකය ප‍්‍රතික්ෂේප කරන න්‍යායක් ක‍්‍රියාවට නැංවීමෙන් ලැබෙන ප‍්‍රතිඵලයක් නැත.