ආර්ථිකය ගොඩගන්නට නම් පලමුව විශ්වාසය ගොඩනගන්න

ඊයේ සවස මම කොළඹ ප්‍රසිද්ද ව්‍යාපාරික ආයතනයක් මගින් සංවිධානය කරතිබූ සාදයකට එක්වුනෙමි. මෙහි සිටි බහුතරය පැහැදිලිවම 2015 දී යහපාලනයට චන්දය දුන් අයය. පුදුමයකට මෙන් මින් වසරකට හෝ එකහමාරකට පෙර ඔවුන් තුලින් දිස් වූ සතුට හෝ උද්‍යෝගය ඊයේ මම නොදුටුවෙමි. වෙනදා මෙන් වෙනස් දේශපාලන මත දරන්නන් අතර ඇතිවන වාදයන් එහි නොවිය.සියලු දෙනාම එකාමෙන් පැවසූවේ ඔවුන්ගේ ව්‍යාපාර මන්දගාමී වී ඇති බවත්, ආර්ථිකය දුර්වල වෙමින් පවතින බවත්ය.

මින් ගම්‍ය වන්නේ කුමක්ද ?

වත්මන් ආන්ඩුවේ වසර දෙකක කාල අවසානයේ ජනතාව ඉදිරියේ දක්නට ලැබෙන්නේ රටේ ආර්ථිකයේ දිශානතිය පිලිබඳ ප්‍රශ්ණ රැසක් පමනි. සංවර්ධනය පැත්තෙන් ජනතාව වත්මන් පාලකයන් ගැන තැබු බලාපොරොත්තු බොහෝමයක් කඩවී ඇත.

වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්දැයි ජනතාවට තවමත් පැහැදිලි නැත. 2015 පාර්ලිමේන්තු එක්සත් ජාතික පෙරමුණු මැතිවරණ ප්‍රකාශයේ තරඟකාරී සමාජ වෙළඳපොල ආර්ථිකය යන නම භාවිත වුවද තව දුරටත් එය අපට අසන්නට නොලැබේ. 2015 ජනවාරි මස සිට මේ වන තුරු අගමැතිවරයා පාර්ලිමේන්තුව තුල ආර්ථික ප්‍රතිපත්ථි ප්‍රකාශන ගනනාවක් කියවා ඇති අතර විවිධ වේදිකාවලද විටින් විට ඉදිරියෙදී හඳුන්වා දීමට බලාපොරොත්තු වන ආර්ථික ප්‍රථිපත්තීන් ගැන නොයෙකුත් අදහස් පලකරනු දක්නට ලැබේ. හොඳින් විමසා බලන්නෙකුට මේ ප්‍රකාශන අතර යම් පරස්පරයන් දක්නට ලැබෙන අඅතර යහපාලන රජය මෙතෙක් ඉදිරිපත් කර ඇති අයවැයලේඛණ තුන හා අගමැතිවරයා විටින් විට කරණ ප්‍රකාශන අතර පැහැදිලි සම්බන්ධීකරණයක්ද දකින්නට නොමැත. මීට අමතරව ජනාධිපතිවරයාද මෑතක සිට ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කිරීමට පටන් ගෙන ඇති අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා නියෝජනය කරන කඳවුරු දෙක එක්ව ආන්ඩු කරනවායැයි කීවද ඔවුන් දෙපිරස අතර ආර්ථිකය හැසිරවිය යුතු ආකාරය පිලිබඳ එකඟතාවක් නොමැති බව නම් ඔවුන්ගේ ප්‍රකාශ අධ්‍යයනය කරන්නෙකුට ඉතාමත්ම පැහැදිව නිරීක්ෂනය කල හැක.

මගේ මතය අනුව රටක් දියුනුකිරීමට අනුගමනය කල යුතු සරල පියවර කිහිපයක් ඇත. ( වත්මන් රජය මේ කිසිවක් ක්‍රමානුකූලව කරන බවක් මටනම් නොපෙනේ)

පලමුවැන්න හඳුනා ගන්නා ක්ෂෙත්‍රයන් සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ආර්ථික ඉලක්ක එකඟ වීමයි.

දෙවැන්න එම ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය කරණ සැලසුම් සකස් කිරීමයි. මේ කාර්යය සඳහා පෞද්ගලික අංශ නියෝජනය ලබාගැනීමද වැදගත්ය.

තුන් වැන්න එම ඉලක්ක අත්පත් කර ගැනීම සඳහා රජයෙන් ලබා දිය යුතු සහයෝගයන් උපරිම මට්ටමෙන් ලබාදීමයි.

මෙම කරුණේදී ප්‍රමුඛතා හඳුනා ගැනීමද ඉතා වැදගත්ය. මෙහිදී කෙටි කලක් තුල වැඩි ආදායමක් ඉපයිය හැකි ව්‍යාපාර ක්ෂෙශ්ත්‍රයන් හඳුනා ගත යුතුය.

උදාහරණයක් ලෙස සංචාරක ව්‍යාපාරය ගනිමු. 2015 ලංකාවට සංචාරකයින් මිලියන 1.5 ක් පැමින් අතර ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ආදායමක් රට ලැබුනි. මේ අනුව පෙනී යන්නේ වසරකට පැමිනෙන සංචාරකයින් ප්‍රමානය මිලියන් 6 දක්වා වර්ධනය කර ගත්හොත් අපට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් ලබා ගත හැකි බවයි.

මෙය අසීරු කරුණක් ද ? නැත. අපට ආසන්නයේ ඇති රටවලට කොපමන සංචාරකයින් පැමිනෙනවාදැයි සොයා බැලීමෙන් එය වටහා ගත හැක.

(2015දී සංචාරකයින් පැමිනීම – තායිලන්තය මිලියන 30 යි, සිංගප්පූරුව මිලියන 12යි, මැලේසියාව මිලියන 26යි, කොරියාව මිලියන 13යි, ඉන්දුනීසියාව මිලියන 11යි , ඉන්දියාව මිලියන 8 යි.) .

නිසි කලමණාකරණයක් තුලින් ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ආ හැකි එමෙන්ම රජයට වැඩි බදු ආදායමක් ලබා ගත හැකි ක්ෂෙස්ත්‍ර කිහිපයක් පහත දැක්වේ

  • සංචාරක ව්‍යාපාරය
  • වරාය හා වරාය අනුබද්ධිත සේවා
  • කෘෂි නිශ්පාදන
  • බැංකු හා මුල්‍ය සේවාවන්
  • තොරතුරු තාක්ෂණය
  • උසස් අධ්‍යාපනය
  • සෞඛ්‍ය සේවා
  • ඛනිජ සම්පත් වලට අගය එකතු කිරීම
  • සන්නාහ නාම සඳහා ඉහල අගය ඇති නිමි ඇඳුම් නිශ්පාදනය
  • විදේශ සේවා නියුක්තිකයින්ගෙන් ලබෙන ආදායම
  • ධීවර කර්මාන්තය හා ඒ ආශ්‍රිත නිශ්පාදන
  • ඉදිකිරීම් හා දේපල විකිනිම් කර්මාන්ත
  • ප්‍රවාහන හා ගුදම් පහසුකම්
  • උපදේශක සේවා

ඉහතකී ක්ෂෙස්ත්‍රයන් දියුණු කිරීම සඳහා ඉලක්කගත වැඩ පිලිවෙලවල් රජය මගින් ක්‍රියාත්මක කල යුතුය. මින් බොහෝමක් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 5- 10 අතර ඉලක්කයක් කරා ගමන් කල හැකි ව්‍යාපාර ක්ෂෙස්ත්‍රයන්ය. ඒ නිසා අදාල ක්ෂෙස්ත්‍ර වල විශේසඥ්යින් සමඟ සාකච්චා කොට සැලසුම් සකස් කිරීම වැදගත්ය.

මෙහිදී රජය විසින් අමතක නොකල යුතු කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්ගෙන් 75% පමන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වන අතර රටේ වැඩකරණ ජනතාවගෙන් 45% පමන රැකියා කරන්නේ මේ ව්‍යාපාර වල බවය. ඒ අනුව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් ධෛර්යමත් කිරීම හා ඔවුන්ට පහසුකම් සැපයීම රටේ සංවර්ධන ක්‍රියාවලිය තුල වැදගත් අවශ්‍යතාවකි.

ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳපොල ජයගත හැකි ව්‍යාපාරික ප්‍රජාවක් ගොඩනැගීම රජයේ මූලික අරමුණක් විය යුතුය.

දැනට ලංකාවේ වැඩකරණ ජනතාව සිටින්නේ ලක්ෂ 78 ක් පමන වන අතර මින් ලක්ෂ 50 කට වැඩි පිරිසක් රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු වේ. ස්වයං රැකියා කරන පිරිස ලක්ෂ 26 ක් පමන වන අතර අන් අයටද රැකියා සපයන ව්‍යාපාරිකයන් ලෙස වෙන් කොට හඳුනා ගත හැක්කේ ලක්ෂ 3කට අඩු පිරිසකි. වසරකට ලක්ෂ 4 කට වඩා වැඩි පිරිසක් රැකියා වෙළඳ පොලට එකතුවන රටක මෙය ඉතා අඩු ව්‍යාපාරික ප්‍රතිශතයකි. ඒ නිසා තරුණ තරුණියන් වැඩි වශයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා යොමුකරන ආකල්පමය වෙනසක්ද රට තුල ඇති කිරීමට රජය මූලිකත්වය ගත යුතුය.

අවසානයේ මතක්කල යුත්තේ ආර්ථිකය කලමනාකරණය කිරීමේදී එයට සම්බන්ධ විවිධ පාර්ශව වල ධෛර්යය ඉහල මට්ටමක පවත්වාගෙන යාම වැදගත් බවය. උදේ පටන් රෑ වන තුරු ගෙදර ප්‍රශ්ණ ගැන නහයෙන් අඬන්නෙකු සමග හවුල් ව්‍යාපාරයකට එක්වන මෝඩයෙකු නැත. මම හතර අතේ ණය වෙලා අලි අමාරුවක වැටිලා ඉන්නේ කියනා එකෙකුට තවත් ණය දෙන පිස්සෙකුද නැත. අද ලංකාවට ආයෝජන එන්නේ නැති හේතුවත් සාධාරන පොලියකට ණය ලබා ගැනීමට ඇති අපහසුවත් තේරුම් ගැනීමටනම් යහපාලන රජයේ පසුගිය වසර දෙකේ කල්ක්‍රියාව විමසා බැලීම ප්‍රමාණවත්ය.

– නාලක  ගොඩහේවා –

(Visited 23 times, 1 visits today)

කාටූන්

ජයාරූප