ක්‍රිකට් කඩාවැටිලා නෑ – දයාසිරි

ටෙස්ට් තරගයකින් සහ එක් දින තරගයකින් බංග්ලාදේශයට පරාජය වූ පමණින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය කඩා වැටී ඇතැයි තමන් විශ්වාස නොකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

වසර ගණනාවක් අතුරු කමිටු යටතේ පාලනය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ වත්මන් පරිපාලනය දැන් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකරමින් සිටින බව ද අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

බංග්ලාදේශයට පරාජය වීම ක්‍රීඩාවේ සමස්ත බිඳවැටීමක් නොව අදාළ තරග සම්බන්ධ ගැටලුවක් පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

“සමස්ත ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටිලයි කියන චෝදනාව පිළිගන්න මම සූදානම් නෑ. හැබැයි, පරාජයන් නැවත ජයග්‍රහණයන් බවට පත්කරගන්නේ කෙසේද කියන එක අපි සියලු දෙනාට තියෙන වගකීම,” ඔහු පැවසීය.

නායක මැතිව්ස්, ක්‍රීඩා ඇමතිවරයා සහ ජනපතිවරයා සමග

ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කොට, රටේ පළමු පෙළ ක්‍රිකට් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බවට සිදත් වෙත්තමුණි පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ ඇමතිවරයා ඔහුට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක්ද එල්ල කළේය.

“ඒක මේ ඡන්දේ ඉල්ලල දිනන්න බැරි අයගේ යෝජනාවක් පමණයි,” ඇමතිවරයා පැවසීය.

කළමනාකරුවන් තිදෙනෙක්?

“ක්‍රිකට් දියුණුවීමට වඩා ඡන්දවලින් දිනන්න බැරි අයට දිනාගන්න ක්‍රියාදාමයක් තමයි සිදත් වෙත්තමුණි මහත්තය ඉදිරිපත් කරලා තියෙන්නේ,” යනුවෙන් සඳහන් කළ අමාත්‍යවරයා අතුරු පාලක මණ්ඩලයේ පදවි හෙබැවූ වසර දෙකක් තුළ ඔහු ක්‍රිකට් ක්ෂේත්‍රයට කළ මෙහෙය කවරක්දැයි ප්‍රශ්න කරයි.

කෙසේ නමුත් පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහය සංශෝධනය කළ යුතු බවට මහේල ජයවර්ධන වැනි හිටපු නායකයන් පවා පෙන්වා දී තිබෙන බව සඳහන් කළ විට අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් පරිපාලනය දැන් ඒ සඳහා වැඩපිළිවෙලක් සකස්කරමින් සිටින බවය.

ශ්‍රී ලංකා කණ්ඩායමට කළමනාකරුවන් තිදෙනකු අවශ්‍ය වන්නේ මන්දැයි විමසූ අවස්ථාවේ අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ, මේ වනවිට කණ්ඩායමේ ස්ථිර කළමනාකරු වශයෙන් ක්‍රියාකරන්නේ අසංක ගුරුසිංහ පමණක් බවය.

(Visited 11 times, 1 visits today)

කාටූන්

ජයාරූප