කෘත්‍යාධිකාරිය රැස්වෙන තුරු විජේදාස රාජපක්ෂගේ විශ්වාසභංගයට පියවරක් නොගැනීමට යු.එන්.පී ය තීරණය කරයි.

බදාදා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වෙන තුරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගැනීමට ඊට අදාළ යෝජනා ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.
එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සදහන් කළේ එදින, පවතින තත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
අධිකරණ අමාත්‍යවරයා සම්බන්ධයෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වෙත කරුණු දැක්වීමට තම කණ්ඩායම සූදානමින් සිටින බව ද එම මන්ත්‍රීවරයා කියා සිටියේය.එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ද ප්‍රකාශ කළේ මෙම තත්වය කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ සාකච්ඡා කිරීමෙන් පසු තීරණයක් ගත යුතු බවයි.
අමාත්‍ය මණ්ඩලයේ සාමුහිකත්වය කඩ කිරීම සහ අධිකරණ අමාත්‍ය ධුරයේ වගකීම නිසි ලෙස ඉටු නොකළ බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ප්‍රකාශ කළේ හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක ධුරයෙන් ඉල්ලා අස්වූ දිනයේදීය.

මේ අතර, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හේතු වූ කරුණු 4ක් පිළිබඳව පිවිතුරු හෙළ උරුමය අද හෙලිදරව්වක් කළේය.එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙම හෙලිදරව්ව සිදු කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.ජගත් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා හෙළි කිරීම, එහි විශේෂ වාර්තාකරු පදනම් විරහිත චෝදනා ගැන පිළිතුරු දීම, ශ්‍රී ලාංකිකයන් අයි.එස් සංවිධානයට සම්බන්ධ බව දැනුම්දීම ඇතුළු අන්තවාදයට එරෙහි කරුණු සහ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශය මන්ත්‍රීවරයා එම කරුණු ලෙස දක්වා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව අකාර්යක්ෂම බව පවසමින් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම අසාධාරණ බවයි.

(Visited 6 times, 1 visits today)

කාටූන්

ජයාරූප