ඥානසාර ස්වාමින්වහන්සේ බාරවෙයි..දිනයක් තුල තෙවරක් ඇප ලැබේ !

අද පෙරවරුවේ වරෙන්තු ලබා සිටියදී අධිකරණයට බාරවූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙර ඇප මත නිදහස් කෙරුණි .

පසුගිය 15 වන දින අධිකරණය මගහැර සිටීමේ චෝදනාවට වරෙන්තු ලබා සිටි උන්වහන්සේ අද (21) නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු පූර්ව ඇප මත නිදහස් කරලීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝග කර තිබිණි.
ඒ අනුව අදාළ නඩුව අගෝස්තු 09 වන දින කැඳවීමට තීරණය කළ මහේස්ත්‍රාත්වරිය, එදිනට ඥානසාර හිමියන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.
ඉන් අනතුරුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලීසිය විසින් කළ දැනුම්දීම අනුව පොලීසියට ගිය උන්වහන්සේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන යළි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවා තිබේ.

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීම, ජාතීන් අතර අසමඟිය ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම යන සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින් පොලිසියේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබිණි.
පසුව ඥානසාර හිමි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති කමල් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ උන්වහන්සේ ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.

එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විනිසුරුවරයා, නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේ මීට පෙරාතුව පල්ලි ගිනි තබන බවටත්, මුස්ලිම් පවුල් මරා දමන බවටත් උන්වහන්සේ විසින් සාහසික ප්‍රකාශ සිදුකළ බවට පොලීසිය විසින් මීට පෙරාතුව වාර්තා කර තිබුණු බවයි.

සැකකාර හිමියන් විසින් සිදුකළ එවැනි බරපතළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ඇති භයානකත්වය හඳුනා තමන් විසින් රාත්‍රී 12ට පමණ අවදිව නියෝග ලබාදුන් බව සිහිපත් කළ මහේස්ත්‍රාත්වරයා එහෙත් අද දිනයේ සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය විරුද්ධත්වයක් නොමැත්තේ මන්ද යන්න විමසා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ නිම කර ඇති බැවින් ඇප ලබාදීමට පොලීසියේ විරුද්ධත්වයක් නොමැති බව එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කළ අතර මහේස්ත්‍රාත්වරයා යළි විමසා සිටියේ සාමාන්‍ය සැකකරුවන් සම්බන්ධයෙන් පොලීසිය මේ ආකාරයෙන් කටයුතු නොකරන්නේ මන්ද යන්නයි.

සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති කමල් ද සිල්වා මහතා එහිදී විනිසුරුවරයාට පිළිතුරු දෙමින් කියා සිටියේ සාමාන්‍ය සැකකරුවන්ටද, ඉදිරියේදී ඒ ආකාරයෙන් ක්‍රියා කිරීමට උත්සාහ ගන්නා බවයි.

පොලීසිය අද පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව පවසා සිටි අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරිපත්වූ කරුණු සලකා බලා ඥානසාර හිමියන්ට රුපියල් ලක්ෂයක පුද්ගලික ඇප සහ රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරලීමට නියම කර ඇත .

නඩු විභාගය අගෝස්තු 04 තෙක් කල් තබන ලදී.

අනතුරුව යලිත් උන්වහන්සේ මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරනු ලැබුවේය.  පොළොන්නරුවේදී ජාතීන් අතර අසමගිය ඇතිකරවන හා සාමය කඩවන අන්දමට ප්‍රකාශ නිකුත් කිරීම හා හැසිරීම සම්බන්ධයෙන් වන චෝදනාවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රු.10,000ක මුදල් ඇප සහ රු.ලක්ෂ පහ බැගින්වන ශරීර ඇප දෙකක් මත නිදහස් කරලීමට නියෝග කෙරිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විනිසුරුවරයා මෙහිදී කියා සිටියේ ජාතීන් අතර අසමගිය වර්ධන වන ආකාරයේ වෛරීය ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතු බව හා එසේ කරනු ලැබුවහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවයි.

 

(Visited 13 times, 1 visits today)

කාටූන්

ජයාරූප