ඩෙංගු නිසා ගෘහ මූලිකයාට දඩ ගසනවානම් රටේ ඩෙංගු සදහා ජනපතිට දඩ ගැසිය යුතුයි!

ගෙදර ඩෙංගු කීටයෝ හිටියොත් ගෘහ මූලිකයාට දඩ නම් පාසලක ඩෙංගු කීටයෝ හිටියොත් විදුහල්පතිට දඩ නම් මාස ගණනක් තිස්සේ රටේ ඩෙංගු කීටයෝ ඉන්නවාට දඩ ගහන්න ඕනි රටේ ප්‍රධානියා ජනපතිට බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද(25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

ජූලි 10 දින ගැසට් මගින් ප්‍රසිද්ධ කළ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.  මේ පනතෙන් බලාපොරොත්තු වන්නේ පළාත් සභා අපේක්ෂක ලැයිස්තුවේ කාන්තා අපේක්ෂකයින් අවම වශයෙන් 30%ක් සිටිය යුතුයි යන නීතිය හඳුන්වා දීමයි.  අපි ඒකට සම්පූර්ණයෙන් එකඟයි.  30%ක් නොවේ 50%ක් කළත් එහි ඇති වැරැද්දක් නෑ.  නමුත් කාන්තා නියෝජනයක් ඉදිරියට දමමින් පුංචි ඡන්දය වගේම  මේ මැතිවරණයත් කල් දැමීමේ කූට උපක්‍රමයක ආණ්ඩුව නියැලී සිටිනවා දැයි අපට සාධාරණ සැකයක් තිබෙනවා.

මීට පෙර පළාත්පාලන මැතිවරණ වල දී තරුණ අපේක්ෂකයින් 40%ක් ඉදිරිපත් කළ යුතු බවට නියමයක් තිබුණා.  එතකොට ඒ ඒ ආයතනය වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයින් ගණනත් තරුණ අපේක්ෂකයින් ගණනත් ඇමතිවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කළ යුතුයි.  නමුත් මේ පනතේ එහෙම විධිවිධානයක් නෑ. ඒ ඒ දිස්ත්‍රිකයෙන් අපේක්ෂණ ලයිස්තුවට ඉදිරිපත්කළ යුතු කාන්තා අපේක්ෂකයන් ගණන සදහන් කරලා නෑ. මුළු ‍අපේක්ෂක ගණනින් 30%ක් තම තමන් ගණනය කර ගත යුතුයි.  පනතට අනුව දශම ගණන් ආවොත් ආසන්නතම ප‍ූර්ණ සංඛ්‍යාවට ගලපා ගත යුතුයි.

නිදසුනක් විධියට කාන්තා අපේක්ෂක 30% ගණනය කරද්දී පිලිතුර 6.5ක් වුණොත් එය ගන්නේ 6 ලෙස ද නැතිනම් 7 ලෙස ද?  6.5 කියන අගය 6ටත් 7ටත් එක වගේ ආසන්නයි.  සංධානය තමන්ගේ ලැයිස්තුවේ කාන්තා අපේක්ෂකයින් 6ක් දානවා.  ජවිපෙ කාන්තා අපේක්ෂකයින් 7ක් දානවා. අළුත්   පනතට අනුව 30% අවමය නැතිනම් ලැයිස්තුව ප්‍රතික්ෂේප කළ යුතුයි.   සංධාන ලැයිස්තුවේ කාන්තා අපේක්ෂකයින් ගණන නියමිත ලෙස නැති නිසා එය ප්‍රතික්ෂේප කළ යුතුයි කියා ජවිපෙ විරෝධතාවයක් මතු කරනවා. නමුත් සන්ධානය කියනවා ලැයිස්තුවේ සිටිය යුතු කාන්තා අපේක්ෂකයන් ගණන 6 නිවැරදි බවට. දැන් මැතිවරණ කොමිසම නිවැරදි ගණනය කියා පිලි ගන්නේ 6 ද? 7 ද?

එතකොට මේ පනත සම්මත කලාට පස්සේ මැතිවරණ කොමිසම කියාවි අයිසීසී ය හරියට රූල්ස් හදල නැ. අයිසීසී රූල්ස් හදන තුරු අපිට අම්පයර් වැඩේ කරන්න බෑ කියලා.  නැතිනම් කියාවි තාම හරියට පිච්එක හදලා නැ. පිච් එක හදල දුන්නොත් මැච් එක ගහන්නම් කියලා.  අවසානයේ දී සිදු වන්නේ පුංචි ඡන්දය වගේම පළාත් සභා මැතිවරණයත් දින නියමයක් නොමැතිව කල් දැමීමයි.  ඒ නිසා ජනතාවගේ පරම අයිතිය වන ඡන්ද බලයට අත නොතියන්නනම් මේ පනතට සංශෝධනයක් ගෙන ආ යුතුයි. කාන්තා නියෝජන සංශෝධනය මැතිවරණ කල් දැමීමේ උප්පරවැට්ටියක් නොවීමට නම් මැතිවරණ කොමිසම ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කළ යුතු අවම කාන්තා අපේක්ෂකයින් ගණන මැතිවරණ කොමිසම විසින් මැතිවරණය ප්‍රකාශයට පත් කරන දිනයේම ගැසට් මගින් ප්‍රසිද්ධ කළ යුතු බවට විධිවිධානයක් පනතට ඇතුළු කළ යුතුයි.  නැතිනම් පුංචි ඡන්දයට හැදුණු බාලගිරි දෝෂය පළාත් සභා ඡන්දයටත් හැදෙන්න පුළුවන්.

ඩෙංගු සඳහා හදිසි සෞඛ්‍ය තත්වයක්

වැඩ බැරි ආණ්ඩුවේ නොහැකියාව නිසා මේ වන විට ඩෙංගු රෝගීන් ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබෙන අතරේ ඩෙංගු මරණ 300 ඉක්මවා ගිහින්.  ඇත්ත තත්වය මීටත් වඩා භයානකයි.  අද රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරි ගිහින් නිසා බොහෝ රෝගින් රෝහල් වලට ඇතුළු කර ගන්න විධියක් නෑ.  රෝහාල් ඇදන් උඩ විතරක් නෙවෙයි මේස උඩයි පඩිපෙලෙයි කොරිඩෝවෙයි හැමතැනම ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා. ඒ නිසා ගෙදර ඉඳන් ප්‍රතිකාර කර ගන්නත් රෝගීන්ට සිදු වෙලා.  ඒ රෝගින් පිළිබඳ මෙම වාර්තාවට ඇතුළු වෙන්නේ නෑ.  මාස තුනකට අධික කාලයක් ගත වුණත් තවමත් ඩෙංගු අධිවසංගත තත්වය පාලනය කරන්න ආණ්ඩුවට බැරි වෙලා.  ඒ නිසා ඩෙංගු හදිසි සෞඛ්‍ය තත්වයක් හෙවත් මෙඩිකල් ඉමර්ජන්සි ප්‍රකාශයට පත් කරන්න කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

පළමුව කළ යුත්තේ හදිසි නොවන සැත්කම් මාසයකින් කල් දැමීමයි.  යම් පීඩාවක් ඇතත් දරා ගෙන සිටිය හැකි ජීවිතයට අනතුරක් නොවන කාරණා සම්බන්ධයෙන් සැත්කම් කර ගැනීමට රෝහල් ගත වන අය නැවැත්තුවොත් ඒ අයට වෙන් කරන ඇඳන් ඩෙංගු රෝගින්ට ලබා ගන්න පුළුවන්.  ඒ වගේම හදිසි නොවන විවිධ පරික්ෂාවන් සඳහා රෝහල් ගත වන අය නැවැත්තුවොත් ඒ අයගේ ඇඳන් ද ඩෙංගු රෝගින්ට ලබා ගන්න පුළුවන්.

මේ සියල්ලටම වඩා වැදගත් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම.  ඩෙංගු සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධයක් ප්‍රථිකාරයක් නැ. රෝගීතත්වයේ ඇතිවන සංකූලතා කළමණාකරනය කිරීමයි බටහිර වෛද්‍ය ප්‍රථිකාර වලදී සිදුවෙන්නේ.  නමුත් දේශීය වෛද්‍ය විද්‍යාවේ ඩෙංගු සදහා ප්‍රථිකාර ක්‍රම ගණනාවක් තිබෙනවා.  මැරෙන්න ඔන්න මෙන්න කියා සිටි අය දේශීය ප්‍රතිකාර වලින් සුවය ලැබීම් පිළිබඳ මම පෞද්ගලිකව දන්නවා.  නමුත් ඒ වෛද්‍යවරුන්ට ආණ්ඩුවේ කිසිම අවධානයක් නෑ. මෙහෙන් රෝගීන් මැරෙනවා. විශාල සංකූල තාවයන්ට ගොදුරු වෙනවා. එහෙම තිබියදීත් ඩෙංගු සුව කළ හැකි දේශීය වෛද්‍යවරයා වෙත රෝගීන් යොමු තිරීමේ වැඩ පිලිවෙලක් ආණ්ඩුවට නැ. ඒ නිසා මේ දේශිය වෛද්‍ය ප්‍රථිකාර ක්‍රම වෙත අණ්ඩුවේ අවධානය යොමුකළ යුතු බව අපි ආණ්ඩුවට කියනවා.  ජාතියේ අවාසනාවට රුදුරු කොටියා මට්ටු කළ ජාතියකට ඩෙංගු මදුරුවා තලා ගන්න බැරුව දඟලනවා.

ඩෙංගු දඩය ජනපතිට ගැසිය යුතුයි

ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන තිබෙන අයට ආණ්ඩුව දැන් නඩු පවරලා දඩ ගහනවා.  ගෙදර ඩෙංගු කීටයෝ හිටියොත් ගෘහ මූලිකයාට දඩ.  කම්හලක හිටියොත් අයිතිකරුට නැතිනම් කම්හල් හිමියට දඩ.  පාසලක ඩෙංගු කීටයෝ හිටියොත් විදුහල්පතිට දඩ.  එහෙම නම් මාස ගණනක් තිස්සේ රටේ ඩෙංගු කීටයෝ ඉන්නවාට දඩ ගහන්න ඕනි කාටද?  රටේ ප්‍රධානියා ජනපතිට හැර වෙන කාටද? ඩෙංගු ඉවර වෙනකං ජනාධිපතිතුමන්ට දිනපතා දඩයක් ගැහුවොත් නම් ඩෙංගු පාලණය කරණ්නට මේ ආණ්ඩුව කටයුතු කරන්නට ඉඩ තිබෙනවා.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක අගමැතිට පිස්සු කියයි

අගමැතිතුමා මානසික රෝගියෙක් කියලා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ වෛද්‍යවරු තමන් සමග පැවසූ බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රාජිත ඇමතිතුමා කියනවා.  අපි නම් කවදාවත් අගමැතිතුමාට පිස්සු කිව්වේ නෑ.  දැන් මේක කියන්නේ ආණ්ඩුවේ නිල මාධ්‍ය ප්‍රකාශක.  එයාට කිව්වේ වෛද්‍යවරුලු.  වෛද්‍යවරු මානසික රෝගයක් පිළිබඳ දැනුම් දුන්නාම එය නොසලකා හරින්න බෑනෙ.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නම් මානසික රෝගියෙකුට අගමැති තනතුර දරන්න බෑ.  ඒ පිළිබඳ ගන්න පියවර මොකද්ද කියා දැන් ජනාධිපති රටට පැවසිය යුතුයි.

සිංහල – දෙමළ සහජීවනයට විනිසුරන්ගෙන් පාඩමක්

ඩොලර් මත යැපෙන එන්ජිඕ නඩය දශක කිහිපයක් පුරා ඩොලර් ලක්ෂ ගණන් වියදම් කරලාත් සහජීවනය රටට ගේන්න බැරි වුණා.  නමුත් උතුරේ විනිසුරුවන් එය ගෙනැවිත් තිබෙනවා. සහජීවනයේ අපූරු පාඩම් කිහිපයක් මෑතක දී අපි දැක්කා.  වෙඩි තැබීමේ සිද්ධියකදී සිංහල පොලිස් සාජන්ට්වරයෙකු තමන්ගෙන් ආරක්ෂාව ලබන දෙමළ විනිසුරු රැක ගන්න සිය ජීවිතය පූජා කළා. ඉන් කම්පාවටට පත් ඒ විනිසුරුවරයා  මිය ගිය නිළධාරියාගේ බිරිඳ හමුවේ අඬමින් වැඳ වැටි සිය කෘතවේදි බව පෙන්නුවා.  මේ සිංහල සාජන්ට් වරයාගේ සහ දෙමළ විනිසුරුවරයාගේ කතාව සහජීවනය පිළිබද අපිට තිබෙන හොදම පාඩමයි. ඒ  දෙදෙනා ඩොලර් කෝටි ගණනක් වටින සහජීවනයේ පාඩමක් රටට කියා දී තිබෙනවා.  ඒ වගේම චාවාකච්චේරිය උසාවියට වැඩම කල  භික්ෂුන් වහන්සේලාට දෙමල මහේස්ත්‍රාත් තුමිය සලකපු පුජනීය ගෞරවනීය ආකාරය හින්දු බෞද්ධ සහජීවිනයට තිබෙන හොදම පාඩමයි. ඒ නිසා අපේ විශ්වාෂයනම් සැබෑ සහජීවනයේ පාඩම මෙි සමාජය තුලම තිබෙනවා. ඒ බව කතාවෙන් නොව ක්‍රියාවේන ඔප්පු කරපු ඒ විනිසුරු වරුන්ටත් ජීවිතය පුජාකළ සාජන්ට් වරයාටත් අපේ ප්‍රණාමය පුද කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

ඇත්තෙන්ම සිංහල – දෙමළ සමගිය වසර දහස් ගණනක් පුරා පැවතුනා.  ඒක විනාශ කලේ අධිරාජ්‍යවාදින් සහ කළු සුද්දන්.  අදත් බටහිර බලවේග අපේ රටට අත පොවන්නේ නැති නම් විස පොවන්නේ නැති නම් සිංහල දෙමළ ජනතාවට පෙර පරිදිම සමගියෙන් ජීවත් වෙන්න පුළුවන්.  සමගියට තිබෙන ලොකුම බාධාව ජාත්‍යන්තර ප්‍රජාව සහ ඔවුන්ගේ ඩොලර් මත යැපෙන  එන්ජිඕ නඩය බව අවධාරණයෙන් කියන්න ඕනෑ.

(Visited 15 times, 1 visits today)

කාටූන්

ජයාරූප