ත්‍රෛනිකායික මහා සගරුවන අප සමඟ සිටිනවා..බෙදුම්වාදී ව්‍යවස්ථාවක් 2/3 න් සම්මත වීමට ඉඩ දෙන පාර්ලිමේන්තුවක් කුමට ද?

ඉඩම්, පොලිස්, මුදල් බලතල පළාත් සභාවට ලබා දෙන, පළාත් ආණ්ඩුකාරවරයාගේ බලතල කප්පාදු කරන, ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පළාත් සභා විසුරුවා හැරීමට ඇති බලය දුර්වල කෙරෙන, සමගාමී ලැයිස්තුව අහෝසි කරන, ජාතික ප‍්‍රතිපත්ති හැදීමේ බලය මධ්‍යම ආණ්ඩුවෙන් උදුරා  ගැනෙන ප‍්‍රතිපාදන ඇතුළත් බෙදුම්වාදී ව්‍යවස්ථාවක් 2/3 න් සම්මත කළහොත් එවැනි අපරාධයක් කළ පාර්ලිමේන්තුවකට ඉහළින් එක් බෝම්බයක් නොව බෝම්බ වැස්සක් ඇද හෙළුවත් වරදක් නැතැයි ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා  පිටකෝට්ටේ පිහිටි එහි ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී මෙසේ පැවසීය.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය,
‘‘අපේ රට දෙකඩ තෙකඩ වීම අබියස අද අපි ඉන්නේ. ඊනියා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පතක්. රටට සිදු වන අන්තරාය මැනවින් පිළිබිඹු වෙනවා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් සැකසූ එම වාර්තාවෙන් පෙනී යනවා ‘බටහිර බලවතුන්ගේ, දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ගේ මනදොල පිනවීම සඳහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමටයි මේ සැරසෙන්නේ’ කියලා මේ අතුරු වාර්තා කෙටුම්පත හා එයට දෙමළ ජාතික සන්ධානය ඇතුළු ඇතැම් ජාතිවාදී බෙදුම්වාදී දේශපාලන පක්‍ෂ ඉදිරිපත් කර ඇති යෝජනා හොදින් කියවා බලන්න. එම අතුරු වාර්තාවේ නිර්දේශ හා ඉහත පක්ෂවල යෝජනා අනුව නිර්මාණය වන නව ව්‍යවස්ථාවක් මගින් රටේ මධ්‍යම හා පාර්ලිමේන්තුව අර්ථශුන්‍ය, නිෂ්ක‍්‍රිය තැන් බවට පත්වීම අනිවාර්යයි.
හැදෙන්නෙ බෙදුම්වාදී ව්‍යවස්ථාවක්
ඉඩම්, පොලිස්, මුදල් බලතල එහි සම්පූර්ණයෙන් පළාත් සභාවලට ලබා දෙන, අන්තවාදී ජාතිවාදී, රටට අහිතකර ප‍්‍රඥප්ති අනුමත නොකර සිටිමේ පළාත් අණ්ඩුකාරවරයා සතු අභිමතය ඉවත් කරන, සමගාමී ලැයිස්තුව ඉවත්කර එහි ඇති  බොහෝ විෂයයන් පළාත් සභාවන්ට ලබා දෙන, වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශ කිරීම වැනි හදිස්සි අවස්ථාවක දී අදාළ පළාත් සභාව විසුරුවා හැර එහි බලතල  පළාත් ආණ්ඩුකාරවරයා  යටතට පත් කිරිමේ ජනාධිපතිවරයා සතු බලය දුර්වල කෙරෙන ෆෙඩරල් බෙදුම්වාදී ව්‍යවස්ථාවක් තමයි මෙමගින් හැදෙන්නේ.
 එදා සහ අද ජවිපෙ
13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා ගෙන ඒමට ජයවර්ධන ආණ්ඩුව කටයුතු කළේ ඉන්දු – ලංකා ගිවිසුම අනුවයි. ඒ රට පාවා දීමේ ගිවිසුමට එරෙහිව තමයි ජවිපෙ දේශපේ‍්‍රමී අරගලයක් ආරම්භ කළේ. ඒ දේශපේ‍්‍රමී අරගලයට ශිෂ්‍යයන්ට ආරාධනා කළේ ‘පළමුව මව්බිම-දෙවනුව ඉගෙනුම’ කියලයි. වැඩ කරන ජනතාවට ඇරයුම් කළේ ‘පළමුව මව්බිම-දෙවනුව වැඩ බිම’ කියලයි. ඒ දේශපේ‍්‍රමීන් සටන් වැදුනේ ‘මව්බිම නැත්තම් මරණය’ යන තේමා පාඨය යටතේ. එසේ ඉන්දියානු හමුදාවේ ආක‍්‍රමණයට, 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, පළාත් සභා ක‍්‍රමයට විරුද්ධව සටන් වැදුනුු ජවිපෙ අද භූමිකාව කවරාකාර ද?  හදිසි අවස්ථාවක දී පළාත් සභා විසිරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයා සතුවීම, සමගාමී ලැයිස්තුවක් මගින් අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි විෂයයන් මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව යන දෙකටම අදාළ කිරීම, රටට හානිකර ප‍්‍රඥප්තිවලට අත්සන් කිරීමෙන් වැළකී සිටිමට පළාත් ආණ්ඩුකාරවරයාට අභිමතයක් තිබීම ආදිය ජේ. ආර් ජයවර්ධන, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රට බෙදී යාම වැළැක්වීමට එකතු කළ ප‍්‍රතිපාදනයි. ඒ වගේම එහිදී ඉඩම්, පොලිස් බලතල පළාත් සභා සඳහා ප‍්‍රායෝගිකව  ලබා දීමක් ද සිදු වූයේ නෑ. එවැනි තත්වයක දී තමයි  ජවිපෙ ‘මව්බිම  නැත්නම් මරණය’ යන සටන් පාඨය යටතේ සටන් වැදුනේ.
ඒ ජවිපෙ අද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන, රට බෙදී යාම වැළැක්වීමට ජේ.ආර් ජයවර්ධන එක් කළ ප‍්‍රතිපාදන ඉවත් කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හමුවේ නිහඩව සිටිනවා. මෑත ඉතිහාසයේ ජවිපෙ භුමිකාව සලකා බලන්න. 2002 පෙබරවාරි 22 වැනිදා රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා කොටි නායක ප‍්‍රභාකරන් සමඟ ‘සටන් විරාමයක්’ මුවාවෙන් රට පාවාදීමේ ගිවිසුමක් අත්සන් තැබුවා. පාර්ලිමේන්තුව පවා නොමග යවමින් තමයි ඒ පාවාදීමේ ගිවිසුම අත්සන් තැබුවේ. ඊට එරෙහිව පළමු වෙඩිමුරය තැබුවේ එදා අපත් ක‍්‍රියාධරයන් වූ ජවිපෙයි. ඊට එරෙහිව යෝධ පා ගමන් සංවිධානය කළේ කවුද? ජවිපෙයි. රනිල්ගේ රට පාවාදීමේ ගිවිසුම අහෝසි කිරීමට සටන් වදින දේශපාලන පෙරමුණ, සන්ධානය ගොඩනැගුවේ කවුද? ජවිපෙ යි. ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැගුවා. 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට ගෙන ඒමට කැපවූවා. රට පාවාදීමේ ගිවිසුම හකුළා දැමුවා. පාර්ලිමේන්තුවට ජනතාවාදී මන්ත‍්‍රීවරු 39ක් යවන්නට හැකි වුණා. එහෙම කරලයි ඊනියා සටන් විරාමය ඔස්සේ රට බෙදීම වැළැක් වූයේ. 2005 දී සුනාමි සහන මණ්ඩලය ඔස්සේ චන්ද්‍රිකා කොටින්ට ‘අන්තර්වාර ස්වයං පාලනයක්’ දෙන්න හදනකොට ඊට එරෙහිව එජනිස ආණ්ඩුවෙන් එළිියට ආවේ කවුද? ජවිපෙයි. උතුරු නැගෙනහිර පළාත් යළි වෙන් කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා ගැනීමට කැපවූයේ කවුද? ජවිපෙයි. මේ සියල්ල මගින් ජවිපෙ පෙන්වූයේ තම දේශපේ‍්‍රමීත්වයයි. රට බෙදී යාම වැළැක්වීම තම න්‍යාය පත‍්‍රයේ අංක එක බවයි. 2007 පමණ වන විට රට බෙදීම වැළැක්වීම, බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පැරදවීම තම න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කිරීමට ජවිපෙට රිංගා සිටි කුමන්ත‍්‍රණකාරී නායක අතලොස්සට හැකි වූවා.
ජානිපෙ භූමිකාව
ඒ අනුවයි, ජවිපෙන් ගිලිහුණු රට බෙදීම වැළැක්වීමේ ධජය අතට ගැනීමට අපි තීරණය කලේ. 2008 අපේ‍්‍රල් 08 වැනිදා විමල් වීරවංශ මහතා ඇතුළු අපි ජවිපෙන් ඉවත් වුණේ ඒ සඳහායි. 2008 මැයි 14 වැනිදා ජානිපෙ බිහි කළෙත් යුද්ධයෙන් රට බෙදීමේ න්‍යාය පත‍්‍රය පැරදවීමටයි. ජවිපෙන් ඉවත් වීමේ අපේ තීරණය නිවැරදි බව රට හමුවේ තහවුරු උණේ 2009 මැයි 19 වැනිදා මේ රටට ලැබුණු විජයග‍්‍රහණය සමගයි. එදා 2009 අය-වැය පැරදවීමට ජවිපෙ කටයුතු කරද්දී අපිට එය තීරණාත්මකව පැරදවීමට හැකි උණා. කොටි පැරදවීමේ සටනට මහින්ද රාජපක්‍ෂ පාලනය සම`ග එක්ව එයට මතවාදී නායකත්වය සැපයීමට විමල් වීරවංශ මහතා ඇතුළු අප පක්ෂයට හැකි වුණා.
පියසිරි අතින් සිදු වූයේ දේශපාලන අඩුවක්
මේ මොහොතේදීත් බෙදුම්වාදී ව්‍යවස්ථාවක් සැකසෙන විට අප පක්‍ෂයක් ලෙස එය රට හමුවේ වන කේන්ද්‍රීයම ප‍්‍රශ්නය බවත් එම ව්‍යවස්ථා ක‍්‍රියාදාමය පැරදවිය යුතු බවත් තීන්දු කළා. ඒ තීන්දු අනුව පක්‍ෂයේ දේශපාලන මන්ඩලය, මධ්‍යම කාරක සභාව නිරන්තරයෙන් රැුස්වෙමින් ක‍්‍රියාමාර්ග තේරුවා. මේ බෙදුම්වාදී ව්‍යවස්ථා ක‍්‍රියාදාමයට එරෙහිව මහවැසි නොතකා විහාරමහාදේවී එළිමහන් රංග පීථයේදී ජාතික සමුළුවක් පැවැත්වූයේ ඒ අනුව. පත‍්‍රිකා දශලක්ෂයක් බෙදාහැරීම, පෝස්ටර් ව්‍යාපාරය දියත්වූයේ ඒ අනුව. නමුත් මේ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාදාමය ඇරඹෙන වකවානුව වන විටත් පියසිරි විජේනායක සහෝදරයා නිෂ්ක‍්‍රිය, උදාසීන තත්වයක සිටියේ. ජාතික සංවිධායක ධුරයට අදාළව ඔහුගේ වගකීම ඒ වන විටත් නිසි ලෙසින් ඉටු වූයේ නැහැ. නමුත් ඔහු 2008 අපේ‍්‍රල් 08 වැනිදා සිට පක්‍ෂය වෙනුවෙන් කළ කැපකිරීම් අප අමතක කළේ නැහැ. එවැනි තත්වයක සිටයි, ඔහු විමල් වීරවංශ සහෝදරයා කළ ප‍්‍රකාශය විවේචනය කළේ. එය ඔහු අතින් සිදු වූ දේශපාලන අඩුවක් ලෙසයි අපි දකින්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේ දී ක‍්‍රියාමාර්ග ගන්නවා.
මෙවැනි බෙදුම්වාදී ව්‍යවස්ථාවක් 2/3 න් සම්මත වීමට ඉඩ දෙන පාර්ලිමේන්තුවක් කුමට ද? එයට බෝම්බ එකක් නොව දහසක් හෙළුවත් කමක් නැහැ. එවැනි පාර්ලිමේන්තුවකට හෙණ ඉල්ලා සිටිය යුතුයි. අපි මෙවැනි ප‍්‍රකාශයක් කරන්නේ දේශපාලන හරයක් ඇතිවයි. එහෙම නැතිව අනුන්ගෙන් අහලා ගිරවු වගේ කතා කරන්නේ නැහැ. විමල් සහෝදරයා කී වේ මෙවැනි බෙදුම්වාදී ව්‍යවස්ථාවකට පක්‍ෂව අත ඔසවන පාර්ලිමේන්තුවකට බෝම්බයක් ගැසිය යුතුයි කියලායි. එහි කිසිම වරදක් නැහැ. ඒ කාරණයේ බරපතළකම රට හමුවේ අවධාරණය කිරීමටයි එසේ පැවසුවේ. මේ බෙදුම්වාදී ව්‍යවස්ථා කියාදාමයට එරෙහිව දිවි හිමියෙන් කටයුතු කිරීමට අපි සූදානම්. ඒ බව මේ ආණ්ඩුව දන්නවා. ඒකයි පක්‍ෂයේ නායකයන්ට සිරගෙවල් උරුම වුණේ. බොරු චෝදනා එල්ල වූයේ, පක්‍ෂය දෙකඩ කිරීමට සූදානම් වන්නේ. ඒ කිසිවකට අපේ ගමන නතර කිරීමට බැහැ. මේ රටේ දේශපේ‍්‍රමී ජනතාව පමණක් නොවෙයි ත්‍රෛනිකායික මහා සගරුවන මේ සටනේ දී අප සමඟ සිටිනවා.’’
(Visited 6 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප