මං ගැන හැදුණ කටකතා මට අදාළ ඒවා නෙමෙයි…සත්‍ය කවදාහරි එලියට එයි…- යසාරා අබේනායක

පහුගිය කාලයේ බොහෝ සෙයින් කතාබහට ලක්වුණු චරිතයක් තමයි යසාරා අබේනායක කියන්නේ. කොහොමවුනත් සියලු කටකතා අසත්‍ය කරපු යසාරා ආදරණීය මවක්. දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වන ෆසීල් මරීජා හා විවාහ වෙලා ඉන්න යසාරා සිය අලුත් ජීවිතය ගැන මාධ්‍යයට අදහස් දක්වා තිබුණේ මේ විදියට.

යසාරා කොහොමද අලුත් ජිවිතේ..?
හොඳයි. සතුටින් ජිවත් වෙනවා. විවාහ ජිවිතේ වගේම මව් පදවියත් අලුත් ජිවිතයක් වුණත් ගැහැණියක් විදිහට මේ ජිවිතේ සමබර කරගෙන ලස්සනට ජිවත් වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා.
දියණියක් ඉන්න මවක් විදිහට වගකීමක් දැනෙනවත් ඇති..?
පුංචි කාලේ ඉදලම මගේ වැඩ තනියම කරගන්න මට මගේ අම්මා ඉගැන්නුවා. ගෙදර උයනකොටත් ගෙදර වැඩවලටත් අම්මා මගෙන් උදව් ගත්තේ ඒ වගකීම් තනියම කරගන්න පුරුදු වෙන්න ඇති. ඒ පුරුද්ද නිසා මට වගකීම ලොකුවට දැනෙන්නේ නැහැ. අපි තුන්දෙනා දැන් ඉන්නේ නුවර. මම තමයි දුවගේ වැඩ සේරම තනියම කරන්නේ. අපිට වැඩටවත් කවුරුවත් නැහැ.
ෆසිල් කියන්නේ දක්ෂ රග්බි ක්‍රීඩකයෙක්. නමුත් පියාගේ සැමියාගේ භූමිකාව ඔහු හොදින් කරනවද..කොහොමද ඔහුගෙන් ගෙදරට ලැබෙන උදව්..?
ඇත්තටම කිව්වොත් මම බලාපොරොත්තු වුණු ෆසිල් නෙමෙයි දැන් ඉන්නේ. මම හිතුවේ නැහැ කවදාවත් ඔහුගෙන් මට පවුල් ජිවිතේට ලොකු උදව්වක් ලැබෙයි කියලා. මොකද එයා ගත කළේ සෙල්ලක්කාර ජිවිතයක් නිසා. නමුත් තාත්තා කෙනෙක් සැමියෙක් වුණාට පස්සේ ඔහු සෑහෙන්න වෙනස් වුණා. ක්‍රීඩා කරද්දී ඔහු නීතිගරුක ක්‍රීඩකයෙක්. ගෙදර ආවට පස්සේ ආදරණිය තාත්තා කෙනෙක්. නිදහසේ ගෙදර ඉන්න තමයි හිතන්නේ. මටත් ගොඩක් උදව් කරනවා. එයා ගෙදර ඉන්නකොට බබා එක්කමයි ඉන්නේ.
දියණියක් ඉන්න නිසා ඇය ෆසිල්ට වැඩිපුර ලෙන්ගතු ඇති..?
අපි දෙන්නා එක්කම ඉන්නවා. එයාගේ කටහඩින් අදුරනවා දුව. කටහඩ ඇහුණ ගමන් හිනා වෙනවා. තවම තේරුමක් තියෙන වයසක නෙමෙයි ඉන්නේ. එයාට තවම මාස දෙකහමාරයි. නම ලියාරා. කොළඹ ගෙදර ගියාට පස්සේ බබා ඉන්නේ මගේ අම්මා එක්කමයි.එයාට ආච්චිලා දෙන්නගෙම ආදරේ ලැබෙනවා.
ෆසිල්ගේ දක්ෂතාවලට තරුණ තරුණියන් ආදරේ කළා. ඔහුගේ දක්ෂතා තවදුරටත් රග්බි පිටියෙන් දකින්න ලැබුණා නම් කියලා යසාරාට හිතෙන්නේ නැද්ද..?
එයා අවුරුදු 15ක් ක්‍රීඩා කළා. තවත් ක්‍රීඩා කරන්න ඔහුට ශක්තිය හා දක්ෂතා තියෙනවා. නමුත් එයාට ඕන වුණේ දක්ෂතා තියෙන වෙලාවෙම ජාතික කණ්ඩායමෙන් ඉවත්වෙන්න. ඒ නිසයි එයා ඉවත් වුණේ. නමුත් ලබන වසරේ මාර්තු වෙනකල් එයා ක්ලබ් තරග සදහා සම්බන්ධ වෙනවා. පොඩි දුකක් මට දැනෙනවා එයා ක්‍රීඩාවෙන් සමු ගන්න එක ගැන. නමුත් එයා ගත්ත තීරණය ගැන මම සතුටු වෙන්න සිදු වෙනවා.
ෆසිල්ගේ දක්ෂතාවලට උමතු වුණු තරුණියන් හිටියා. ඔහුට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතුණේ. ඊර්ෂ්‍යා හිතිලා නැද්ද..?
එයාට ප්‍රතිචාර ලැබෙද්දී මට සතුටුයි. එහෙම ඊර්ෂ්‍යාවක් හිතිලා නැහැ. විවාහ වුණේ එයාට අවුරුදු 30ක් වෙද්දී. ඒ වෙනකල්ම එයාට ප්‍රතිචාර දක්වන ගැහැණු ළමයින්ට එයා කතා කරලා මැසෙජ් යවලා තියෙනවා. මම ඒවාට කවදාවත් රණ්ඩු කරලා නැහැ. එහෙම කරන්න එපා කියලා නැහැ. විවාහ වුණාට පස්සේ එයා ප්‍රතිචාර දක්වන විදිහත් වෙනස් වුණා.
ගාමිණි ෆොන්සේකා කියන්නේ සිංහල සිනමා වංශ කතාවේ දැවැන්තයෙක්. ඔහු ඔබේ සීයා. ඔබ රංගනයට යොමු නොවුණේ ඇයි කියලත් මතක් කරමු..?
මගේ තාත්තා නිසා තමයි මම කාලයක් මාධ්‍ය ආයතනයක විධායක තනතුරක් දැරුවේ. සීයා කවදාවත් කැමති වුණේ නැහැ එයාගේ දුව මගේ අම්මාව වත් රගපාන්න යවන්න. ඒ නිසයි මගේ අම්මා වෛද්‍යවරියක් වෙන්නේ. සීයා නිතරම කිව්වේ කලාව එක්ක පවුල් ජිවිතේ සාර්ථක කරගන්න බැහැ කියලයි. ඒ කාලේ මම හරිම පුංචියි. අපේ ගෙදරට කලාකරුවෝ සෑහෙන්න එනවා. තාත්තාගේ නිර්මාණ වැඩ වලට වගේම සීයා නිසා. මගේ ජිවිතේ ඒ දේවල් එක්ක ගත වුණත් මාව නිලියක් කළේ නැහැ.
යසාරා ඔහුට බයයි කියන්නේ ඇත්තද..?
ඔව්. සීයාගේ කටහඩ ඇහුණත් අපි බය වෙනවා. ඔහුට හොද පෞරුෂයක් තිබුණා. අපි සියා ඉන්න තැන හොද ළමයි වගෙයි හැසිරෙන්නේ. සද්ද කරන්නේ එහෙම නැහැ. සියා හිටපු මහගෙදර තිබුණේ ජාඇල. අපි එහෙ සීයාට ඕන විදිහට ඉදලා කොලඹ ඇවිත් දගකරනවා.
කාලයක් යසාරාට කට කතා හැදුණා. ඒ කාලේ මොකද හිතුණේ..කටකතා නිසාද පැත්තකට වෙලා නිහඩව ඉන්නේ..?
ඒ කට කතාවලින් 80% ක්ම මට අදාළ නැති ඒවා. ඒකට මට කරන්න දෙයක් නැහැ. මම නිවැරදි කරන්න ගියෙත් නැහැ. ඇත්ත මොකක්ද කියන එක කවදා හරි එළියට එනවා. ඒ නිසා මම නිහඩව ඉන්නවා.

Related image

(Visited 7 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප