මත්තල බේරා ගැනීමට කල උද්ගොෂණයට කඳුළු ගෑස් ගහයි!

 

මත්තල – ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉන්දියාවට දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාදීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අද (06) පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාවට මීට ටික වේලාවකට පෙර පොලීසිය කදුලූ ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළහ.

හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිටට විරෝධතා පෙළපාලිය පැමිණීමත් සමග පොලිසිය මෙලෙස කදුලූ ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතාවය අද පෙරවරුවේ ආරම්භ කරනු ලැබුවේ හම්බන්තොට වෙරළ උද්‍යානය අසලිනි.

ඒ සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයින් සහ පළාත් සභා නියෝජිතයන් පිරිසක් එක්වුනි.

විරෝධතාව හම්බන්තොට අධිකරණ බලසීමාව තුළ මහජනතාවට පීඩාකාරි වන ආකාරයෙන් නොපවත්වන ලෙසට අධිකරණය ඊයේ තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.

අද විරෝධතා පෙළපාලියෙන් හම්බන්තොට වෙරළ උද්‍යානයට රොක් වූ විරෝධතාකරුවන් හම්බන්තොට – ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය වෙත පාගමනින් පැමිණ සංදේශයක් ද භාර දෙනු ලැබීය.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව පැවැත්වෙන අද දිනයේ හම්බන්තොට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබිණි.

ඒ සදහා පොලිස් කැරලි මර්දන ඒකකය, විශේෂ කාර්ය බලකාය සහ තංගල්ල කොට්ඨාශයේ පොලිස් ස්ථාන කිහිපයකම නිලධාරින් කැදවා තිබුණි.

(Visited 9 times, 1 visits today)

කාටූන්

ජයාරූප