මොරගහකන්ද ජනපති සුරතින් ජනතා අයිතියට

දශක හතරකට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ජනතා අයතියට පත්කිරීමේ උත්සවය අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී දියවර නිකුත් කිරීමේ සමාරම්භය සනිටුහන් කරමින් එහි සමරු කුළුන වීවෘත කිරීම පළමුව සිදු කෙරුණා.

පසුව සුභ මොහොතින් මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත් කිරීම සුභ නැකතින් සිදු කෙරුණේ ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය මධ්‍යයේය. මහවැලි පංචමහ ජලාශයන්ට අයත් අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමත් සමඟ මීට දශක හතරකට පමණ පෙර අද වැනි  දිනක පොල්ගොල්ලෙන් ඇරභි මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ සමප්තියද සනිටුහන් කරනවා. රු.මිලියන එක්ලක්ෂ අසූඑක්දහසක වියදමින් නිමකර ඇති මෙම වාරි ව්‍යාපෘතිය සඳහා චීන සංවර්ධන බැංකුවද රු.මිලියන විසිඅටදහස් නවසිය පනස්දෙකය් දශම එකක ණය මුදලක් පිරිනමා තිබෙනවා. ඒ අවස්ථාව සනිටුහන් කරමින් චීනජනරජයේ නියෝජිතයින් විසින් ජනාධිපතිවරයාට සමරු තිළිණයක් ද පිරිනැමුවා. අක්කර ලක්ෂ තුනක් අලුතින් අස්වද්දා පුද්ගලයින් ලක්ෂ පහලවකට සෙත සලසන සහ ලක්ෂ තුනකට පිරිසිඳු පානීය ජලය මොරගහකන්ද කළු ගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මෑත යුගයේ ඉදිවූ සුවිශේෂී ව්‍යාපෘතියක්. නකල්ස් කඳු නිම්නයේ සිට අබන් ගඟ හරහා ගල ගිය ජලකඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර මොරගහකන්ද යාබදින් ගලා බසින කළු ගඟ හරස් කර අලුතින් ඉදිවන ජලාශයේ ජලයද මොරගහකන්දට සපයනු ලබනවා. ජලාශයේ සම්පූර්ණ ජාල ධාරිතාව අක්කර අඩි හයලක්ෂ හැටදහසක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජලාශයේ ජාල ධාරිතාව මෙන් හය ගුණයක්. මෙම ව්‍යාපෘතිය යටතේ උතුරුමැද වයඹ සහ නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් දෙදහසකට අලුතින් දියවර සැපයෙනවා. මෙරට දැකිය හැකි ගල් පිරවූ ප්‍රධාන වේල්ලක්, කොන්ක්‍රීට් කරන ලද වේල්ලක් සහ පස්වලින්  සෑදූ වේල්ලක් යන වේලි තුනකින් යුත් එකම ජලාශය මොරගහකන්ද ජලාශය වීමත් විශේෂත්වයකි. මෙම ව්‍යාපෘතිය මගින් මෙගා වොට් විසිපහක විදුලි බල ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එක කිරීමටද නියමිතයි.

(Visited 5 times, 1 visits today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කාටූන්

ජයාරූප