ලබන අවුරුද්ද තමයි අමාරුම අවුරුද්ද..

ලබන වසර අමාරු අවුරුද්දක් වන බවත්, වැඩිපුරම ණය ගෙවීමට ඇත්තේ 2018 සහ 2019 වසරවලදී බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (10) හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණ ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වික්‍රමසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

යහපාලන රජය බලයට පත්වූ පසුව ආදායම වැඩි කර ණය ගෙවීමට හැකි තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. නමුත් අපට තවදුරටත් ණය ලබා ගැනීමට සිදු වෙනවා. අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය දියුණු කිරීමට, සෞඛ්‍ය  දියුණු කිරීමට ණය ගන්නට සිදු වෙනවා. අප බලාපොරොත්තු වූයේ ණය මුදල් ලබා ගෙන අධ්‍යාපනය ආදී ක්ෂේත්‍රවලට වැඩිපුර යෙදවීමටයි. රජයේ අවසන් අරමුණ වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ලබාදීමටයි. එය කළ හැක්කේ ආර්ථිකය ශක්තිමත් නම් පමණයි.

එක් පැත්තකින් ලබන වසර අමාරු අවුරුද්දක් බව කිව යුතුයි. වැඩිපුරම ණය ගෙවීමට ඇත්තේ 2018 සහ 2019 වසරවලදීයි. 2018 වසරේ දී නව අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. 2019 වසරේ දී අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් තවදුරටත් මුදල් යෙදවිය යුතුව තිබෙනවා. ලබන වසරේ දී කොතරම් ප්‍රශ්න තිබුණත් “ළඟම පාසල හොඳම පාසල“ බවට පත් කිරීමේ ව්‍යාපෘතියට අමතරව සියලූම දෙනාට වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ මූලික වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එම අත්හදා බැලීම් අනුව ඊළඟ වසර දෙකේ දී වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම ක්‍රියාත්මක කරනවා.

ඒ වැඩසටහන වෙනුවෙන් නව ගුරුවරුන්, නව විෂය පද්ධති උගන්වන ගුරුවරුන්, කොට්ඨාශ බාර ප්‍රධානීන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, විදුහල්පතිවරුන් ආදී සියලූ දෙනාම පුහුණු කළ යුතුව තිබෙනවා. මේ වැඩකටයුත්ත සාර්ථක කර ගත හැකි වන්නේ එලෙස ලබාදෙන පුහුණුව මතයි.
දෙවෙනි කාරණය පළාත් සභා, ප්‍රාදේශීය සභා යටතේ තිබෙන පාසල්වල සංවර්ධනය පිළිබඳ  වාර්තා ලබාගැනීමයි. වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන අතරම පාසල් ළමුන්ට ටැබ්ලට් පරිගණක ලබාදීමටත් අප කටයුතු කරනවා.  එය පළමුවෙන් අත්හදා බැලීමක් ලෙස සිදුකර පසුව ලක්ෂ 5කට අධික උසස් පෙළ සිසුන්ට එම ටැබ්ලට් ලබාදීමට අප තිරණය කර තිබෙනවා. 2030, 2035 පමණ වන විට අධ්යා පන වැඩකටයුතු සදහා පාසැල් ළමුන් ටැබ්ලට් පරිගණකය භාවිත කරන තත්වයක් ඇතිවේවි.

එවාගේම අපි වයි – ෆයි ගමට ගෙනයාමේ වැඩසටහනත් ක්‍රියාත්මක කරනවා. එහිදි විශේෂයෙන්ම උසස් පෙළ විෂයන් උගන්වන පාසැල් තිබෙන ගම්මානවලට ප්‍රමුඛතාවය දී කටයුතු කිරීමට අප තීරණය කර තිබෙනවා. මේ කාරණා දෙකම දැන් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා.
වසර 13ක අධ්‍යාපනයෙන් පසු සියලූම දරුවන් විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වීම අනිවාර්ය නැහැ.
ඔවුන්ට උසස් පෙළ විභාගයෙන් පසු කාර්මික අධ්‍යාපන පුහුණුව ආදී ද්විතික අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. ඒ ආකාරයට අධ්‍යාපනය ලබා ඉදිරියට යාමේ හැකියාව අනෙක් විභාග සදහා මුහුණ දීමේ හැකියාව දරුවන්ට ඇතිවෙනවා. ඒ වැඩකටයුතු අප දැන් සිදුකරමින් සිටිනවා.

මෙරටේ වෘත්තීය පුහුණුව අනෙක් විශාලම ගැටළුවයි. එය රටේ දුර්වලම අංශයක්. අපි එම අංශය සංවිධානාත්මකව සකස් කළ යුතුයි. දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදුන්නත් රැකියා කරගෙන යාම සදහා අවශ්‍යම පුහුණුවක් ලැබෙන්නේ නැහැ. පුහුණුව සඳහා අවශ්‍ය කර්මාන්තශාලා සහ ආයෝජකයන් තෝරා ගනිමින් කරගනිමින් එම වැඩසටහන අප ආරම්භ කළ යුතුයි.
තුන්වෙනුව මේ රටේ විශ්ව විද්‍යාලවල දියුණුව වෙත අවධානය යොමු කළ යුතුයි.

විශේෂයෙන්ම අනාගත පරම්පරාව මේ දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. ඉදිරියේදී අප වටා තිබෙන අනෙක් රටවල ජනගහණය වර්ධනය වෙනවා. ඉදිරියේදී ඉන්දියාව ලෝකයේ ජනාකීර්ණම රට බවට පත්වෙනවා. ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය යන රටවල් පිළිබද සලකා බලන විට එම කලාපයේ අඩුම තරමින් මිලියන 500 ක් ඉක්මවූ ජනගහනයක් ජීවත් වෙනවා. නමුත් 2050 වන විට ලංකාවේ ජනගහනය වැඩිවෙන්නේ ලක්ෂ 20කින් පමණයි. ලෝකයට අවශ්‍ය යන්ත්‍ර සහ රොබෝ යන්ත්‍ර ආදිය නිෂ්පාදනය කරදීමට අපට මෙය හොඳ අවස්ථාවක්. එසේ නම් අප එළඹෙන වසර 20, 30 පිළිබදව අවධානය යොමුකරමින් අපේ අධ්‍යාපන ක්‍රමය සකස් කළ යුතුයි.

(Visited 12 times, 1 visits today)

කාටූන්

ජයාරූප