වැසි රහිත උවත් විදුලි කප්පාදුවක් නෑ !

වියළි කාලගුණය හමුවේ විදුලි බිල වැඩි කිරීමක් හෝ කිසිදු විදුලිය කප්පාදුවක්  සිදු නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මේ දිනවල බොහෝ දෙනෙක් විදුලිය කප්පාදු කරනවා ද යන්න කතා කරන බවත් රජය මේ වන විට ඉතාමත් අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
දෛනික විදුලි ඉල්ලුම පසුගිය වර්ෂයට සාපේකෂව සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇති බවත්, එය වියළි කාලගුණයත් සමඟ සිදුවුවක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට විදුලිය නිෂ්පාදනය කරන ජල ධාරිතාව සියයට 36 කින් අඩු වී ඇති බවත්, සමහර ජලාශවල ධාරිතාව සියයට 20 දක්වා අඩු මට්ටමකට පැමිණ ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ප්‍රධානතම බලාගාරය වන නොරොච්චෝලේ තාප බලාගාරයේ ද එක් යන්ත්‍රයක් අලුත් වැඩියා කටයුතු සඳහා නතර කර ඇති බව ද කියා සිටියේය.
කෙසේ වෙතත් පවතින ඉදිරි අභියෝග හමුවේ ද කිසිදු විදුලි කප්පාදුවක් හෝ විදුලි බිල වැඩි කිරීමක් නොකර ජනතාවට විදුලිය ලබා දීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(Visited 8 times, 1 visits today)

කාටූන්

ජයාරූප