2003 ගංවතුර ගැලීමට හේතුවත් අධිවේගී මාර්ගයද?

අධිවේගි මාර්ගය ඉදි කිරීමෙන් පරිසරයට හානියක් සිදුව ඇත්නම් ඒකට වග කිව යුතු පරිසර ඇමතිවරුන් තුන් දෙනාම දැන් සිටින්නේ ආණ්ඩුවේ බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් රණවක ඇමතිතුමා කරන ලද ප්‍රකාශයෙන් ඇඟිල්ල දිගු කළ යුත්තේ ඔහු වෙතටම බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

ඉංජිනේරුවරයෙකු බව කියන පරිසරවේදියෙකු බව කියන ගරු පා ච රණවක ඇමතිතුමා දකුණු අධිවේගි මාර්ගය වේල්ලක් ලෙස ක්‍රියා කරපු නිසා දකුණේ ගං වතුර ඇති වුණු බවට අරුම පුදුම ප්‍රකාශයක් කළා.  එතුමාගේ ඒ ප්‍රකාශයත් සමග එතුමා ඇත්තටම ඉංජිනේරුවෙකුදැයි ප්‍රශ්නයක් මතු වෙනවා.  එතුමාගේ ප්‍රඥාවේ ආලෝකයෙන් බිඳක් අපි වැනි අඳුරේ සිටින ජනතාවට ලබා ගැනීමට එතුමාගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා.

අධිවේගි මාර්ගය වේල්ලක් ලෙස වැසි දිය රඳවා ගත්තා නම් ජල ගැලීම් සිදු විය යුත්තේ අධිවේගි මාර්ගයට ඉහළින් ඇති ප්‍රදේශ වලටයි.  නමුත් වැඩිම හානිය සිදු වුණේ අධිවේගි මාර්ගය සහ වෙරළ අතර තීරුවටයි.  එසේ වුණේ කොහොම ද?

අධිවේගි මාර්ගය නොතිබෙන රත්නපුර අයගම සහ දෙනියාය වැනි ප්‍රදේශ වලට වැඩිම හානියක් සිදු වුණේ කොහොමද?

2003 අධිවේගි මාර්ගයක් නොතිබුණත් ජල ගැලීමේ දී මෙවැනිම හානියක් සිදු වුණේ කොහොමද?

ජල ගැලීමෙන් මෙතරම් හානියක් සිදු වුණේ අධිවේගි මාර්ගය නිසා කියලා අපි මොහොතකට සිතමු.  කවුද ඒකට වග කියන්න ඕනෑ.  පාරිසරික බලපෑම් ඇගයීම අනුමත කරලා අධිවේගි මාර්ගය හදන්න අවසර දුන්නු පරිසර ඇමතිවරු.

2006 අධිවේගි මාර්ගයේ ඉදි කිරීම් ආරම්භ වන විට පරිසර ඇමති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා.

2007 – 2010 අධිවේගි මාර්ගයේ වැඩිම වැඩ කොටස ඉටු කළේ  චෝදනා නගන පා ච රණවක මැතිතුමා පරිසර ඇමති කාලයේ.

2011 දී අධිවේගි මාර්ගය සම්පූර්ණ කරන විට පරිසර ඇමති අනුර යාපා මැතිතුමා.

මේ නිසා අධිවේගි මාර්ගය ඉදි කිරීමෙන් පරිසරයට හානියක් සිදු වෙලා තිබෙනවා නම් ඒකට වග කියන්න ඕනෑ පරිසර ඇමතිවරු තුන් දෙනාම දැන් ඉන්නේ ආණ්ඩුවේ.  අපේ පැත්තට දිගු කරන ඇඟිල්ල තමන්ටම දිගුකරගන්න වෙනවා ඇමතිතුමෝ කියලයි අපිට කියන්න වෙන්නේ.

අපේ ආණ්ඩුව යුද්ධය මැද අධිවේගි මාර්ග තුනක් හැදුවා.  2014 මුල් ගල තැබූ උතුරු අධිවේගි මාර්ගයේ මුල් කොටස විවෘත කරන්න නියමිතව තිබුණේ 2017 දී.  නමුත් මේ ආණ්ඩුව විසින් එක කිලෝ මීටරයක් පාර හදලා නෑ.  ඒ විතරක් නොවේ කොක්මාදුව මීට මාස එකහාමාරකට කලින් සිදු වුණු පස් කන්ද කඩා වැටීම යථා තත්ත්වයට පත් කරන්න තවමත් බැරි වෙලා තිබෙනවා.  අපේ ආණ්ඩුව කාලයේ ඕනෑම පස් කඩා වැටීමක් සතියක් ඇතුළත ඉවත් කළා.  මේ ඊයේ සවස ලබා ගත් ඡායාරූප.  තවමත් මාර්ගය යථා තත්වයට පත් කරන්න මේ වැඩ බැරි ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා.  තිබෙන අධිවේගි මාර්ග නඩත්තු කර ගන්න බැරි මේ වැඩ බැරි ආණ්ඩුව අලුතින් හදන්නේ කොහොමද?

තමන්ගේ බැරි කම වසා ගන්න අධිවේගි මාර්ග හදනවා ද නැද්ද කියා යළි සලකා බැලිය යුතුයි කියා පා ච රණවක ඇමතිතුමා කියනවා.  ජල ගැලීම් සහ නාය යෑම් වලට අධිවේගි මාර්ග බලපානවා නම් ඒකට උත්තරේ අධිවේගි මාර්ග නැවැත්වීම නොවේ.  තෙත් කලාපය තුල දී කුලුණු මත අධිවේගි මාර්ග ඉදි කිරීමයි.  වියදම 20%කින් පමණ ඉහළ ගියත් කුලුණු මත ඉදි කිරීමෙන් ජල ප්‍රවාහයට කිසිම බලපෑමක් එල්ල වෙන්නේ නෑ.  ඒ නිසා කොළඹ – නුවර අධිවේගි මාර්ගය කුලුණු මත ඉදි කරන්න යැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වුණු පක්ෂයේ තරුණ කටයුතු ලේකම් සුගීෂ්වර බණ්ඩාර කියා සිටියේ කටාර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින් මැදපෙරදිග උද්ගතව පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බවයි.

අද දිනයේ කටාර් සිට පැමිණි ශ්‍රි ලාංකිකයින් ගුවන්තොටුපළේදී මුදල් මාරු කරන්නට යාමෙන් දැඩි අසීරුතාවන්ට මුහුණ දුන් බවත්, මෙම තත්ත්වය සතියක පමණ කාලයක සිට වර්ධනය වූ බැවින් රජය කළ යුතුව තිබුණේ තානාපති කාර්යාලය හරහා එම ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණෙන විට තම මුදල් එහෙදීම රියාල් වලින් ඩොලර් බවට මාරුකරගෙන පැමිණීම බවත් ඔහු පෙන්වා දුන්නේය.


දැනට ශ්‍රි ලාංකිකයින් එක් ලක්ෂ විසි තුන් දහසකට වැඩි පිරිසක් කටාර්හි රැකියාවල නිරත වන බවත්, ඉදිරියේදී පවත්නා තත්ත්වයන් වර්ධනයවී යුදමය තත්ත්වයක් නිර්මාණය වුවහොත් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු තීරණයක් කල් තියා ගත යුතුව ඇති බවත් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(Visited 53 times, 1 visits today)

කාටූන්

ජයාරූප